මගෙ ඇත් රජුනේ.......


පුතෙක් විලසින් ම හැම දින මට දැණුනේ....
දරු සෙනෙහසින් පිරිලයි මා ළය පිදුනේ....
එදා මෙන් ම හීලයි.. මට නම් නෑ.. නපුරු වුනේ....
මගේ ඇත් රජුනි.. නිදියන් ඉතින්.. දැන් සංතොසිනේ....

උඹේ ළඟින් හැමදාමත් මම ඉන්නම්....
නපුරු දනන්ගෙන් පණ මෙන් රැක ගන්නම්....
පියතුම වගේ ඔබ හට නිති දිරි දෙන්නම්....
මව්තුම වගේ ඔබ වෙත ආසිරි දෙන්නම්....

තනියට මගේ දිවි ගමනට එකතු වෙලා....
උඹ තනි රකියි මගෙ ලෝකයෙ පහන වෙලා....
වැරදීමකින් මම බැන්නොත් නපුරු වෙලා....
නොතැවෙන් මගේ ඇත් රජුනේ සමා වෙලා....

දින දින ගෙවී ලොකු වීලා තරුණ වෙලා....
උඹ සද්දන්තයෙක් වීලා හෙට දවස බලා....
පා තබනා දින මා ඇත මහළු වෙලා....
සළකාපන් එදාට මා ළඟට වෙලා....

මේ අහපන් මගෙ රජුනේ ළං වීලා....
මා මැරුනොතින් යම් දිනකදි මහළු වෙලා....
නොහඬා ඉඳින් පුතුනේ මට ළං වීලා....
පරිස්සමෙන් ඉඳපන් උඹ නොවී මුළා....

පියතුම වගේ මා හට අද තනි රකිනා....
පියතුම නුඹයි ඇත් ගොව්වනි මා රකිනා....
යන්නට සිතෙනමුත් මට හැම විට නිතිනා....
කොහොමද යන්නෙ හැරදා නුඹ මා රකිනා....

ආසිරි සළා මගෙ හිස අත ගා නිතින....
ආහර සොයා මා වෙත ගෙන එන නිතින....
අම්මා වගේමයි මා හැම දින රකින....
යන්නේ කෙලෙසදෝ වනයට නුඹ දුකින....

මා ලොකු වෙලා මතුදා, දින දින ගෙවිලා....
සද්දන්තයෙක් වීලා, මා තරුණ වෙලා....
දරුණු වෙලා, කිසිවෙකුටත් බිය නොවිලා....
දෙපා තබන දා නුඹ ඇත මහළු වෙලා....

මහළු වෙලා නුඹ එක් තැන් වුණ දාට....
සළකමි අනේ දුකමයි මට ඒ දාට....
පියතුම වගේ හැමදාමත් වූ මෙමට....
රැකගමි කවා රස පලවැල මම නුඹට....

නුඹ මැරුණොතින් යම් දිනකදි නොසිතා මා....
දුකමයි අනේ!.. දන්නේ නෑ.. ඉවසන්නේ.. මා කොහො මා....
හෙළවෙන්නෙවත් නෑ මා නම්.. ඉන්නව දුකින්.. නුඹ ළඟ මා....
නුඹගෙ සෑය සාදමි මම.. සිහිකරනෙමි සැමදා මා....

කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments