කෙටි කථාව....

මිනස්කම


මෙලොව පවතින දහමක් වේද,
ඒ උතුම් වූ ආදරයයි.
සදාතන ජීවයේ ප්‍රාණ වායුව;
ඒ සත්‍ය ප්‍රේමයයි.
මිනිස්කම නෙතින් දකිනා
ඒ උත්තරීතර මනුෂ්‍යයාට,
නැතහොත් ශ්‍රේෂ්ඨ යයි
හංවඩු ගසන මිනිසුන්ට,
ඔහුගේ සත්‍ය වූත් පිවිතුරු වූත්,
හද ගැබ විවර කළ යුතුය.
නමුත් එසේ නොවුණහොත්;
ඔහුගේ එම හද ගැබද
මිනිස්කම නොදැකීමට ඉඩ ඇත.

ජීවිතය පිළිිබඳ තවමත් අවබෝධයක් නොමැති කුඩා පුතු පාසල් යාමට සැරසෙන සැටි දකින විට මහද උද්දාමයෙන් පිරී යයි. ඉතා ආශාවෙන් පාසල් යාම සඳහා පිබිදෙන පුතු ඉතා කඩිසරව ඒ සඳහා සූූදානම් වන අයුරු සුනිල් හා මම ඉතාමත් ආශාවෙන් බලා සිටින්නෙමුු. අපගේ කුඩා පුුතු කවදා හෝ හොඳ ගති පැවතුම් ඇති උසස් පුද්ගලයකු වන බව අප දෙදෙනාගේ විශ්වාසය මෙන් ම පුතු දකින ඕනෑම කෙනෙකුගේ විශ්වාසය විය.

අප විවාහ වී දැනට අවුරුදු 8ක් පමණ ගත වුණි. සඳරුවන් පුතු අපට ලැබුණු ප්‍රථම දරු සම්පතයි. පුතු දැනට තෙවන වසරේ ඉගෙනුම ලබයි. දිනපතා උදෑසනින් පිබිදෙන මා උදෑසන ආහාරය මෙන් ම දිවා ආහාරය ද සූදානම් කරන අතර ටික මොහොතකින් සුනිල් ද පිබිදී මා හා හවුල් වෙයි. සැබැවින් ම ඔහු මට සැබෑ සහකරුවෙකි. අප දෙදෙන මහන්සි වී ජීවිතය ගෙන යාමට දක්වන කැපවීම කුඩා පුතුට ද දැනී ඇතැයි මට සිතෙන්නේ නිවාඩු දිනෙක පුතු මට සහය වනු දකින විට ය. ආහාර පිසීමට හවුල් වී සුනිල් රැකියාවට යාමට සූදානම් වෙයි. මම පුතු අවදි කර පාසැල් යැවීමට සූදානම් කරන අතර මම ද රැකියා ස්ථානය බලා යෑම සඳහා සූදානම් වෙමි.

කුඩා පුුතු දත් මැද මුව සේදීම ආදිය ඉතා කඩිසරව කරන අයුරු දකින මා හට ඇති වන්නේ අසීමිත සතුටකි. පාසැල් ඇඳුම් ඇඳ නිම වූ පුතු සමඟින් සුනිල් හා මම උදෑසන ආහාර ගන්නෙමු. අවසානයේ අප තිදෙන කාරයේ නැඟී වැඩට යාම සඳහා පිටත් වන්නෙමුු. සුනිල් රියදුරු අසුනේ වන අතර පුතු හා මම ද ඉදිරි අසුනේ ගමන් කරන්නෙමු. පුතු කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනීම කරන අතර අප දෙදෙනා ද කොළඹ අවට ව්‍ය‍ාපාර ආයතන දෙකක ඉහළ තනතුරුවල සේවය කරන්නෙමු.

මුලින් ම පුතු පාසැලට ඇරලවා සුනිල් හා මා රැකියා ස්ථාන කරා පිටත් වන්නෙමු. මා රැකියා ස්ථානයට ඇරලවා, සුනිල් ඔහුුගේ රැකියා ස්ථානය වෙත යයි. මෙය අප පවුලේ සෑම සතියේ දිනකම පවතින කාල සටහනයි. දවල් පාසැල් අවසානයේ මා ගොස් පුතු රැගෙන නැවත මාගේ කාර්‍යලය වෙත එන අතර සවස 4.00 ට පමණ පුතු සමඟ මා බස් රථයේ නැඟී නිවස වෙත එන්නෙමු. සුනිල් වැඩ අවසන් වී නිවස බලා එන විට සවස 6.30 පමණ වෙයි. 

පුතු සමඟ නිවසට එන මා ඇඟ සෝදා ටික වේලාවක් විවේක ගන්නා අතර, පසුව රාත්‍රි ආහාරය සූදානම් කරන අතර සුනිල් ද නිවසට පැමිණෙන්නේ එම වෙලාවටය. අප තිදෙනාම නිවසේ රැඳෙන එම රාත්‍රි පැය කිහිපය අපගේ සතුට සඳහා යෙදෙයි. කුඩා පුතුගේ බොළඳ වදන් අප දෙදෙනා තවත් සෙනෙහසින් පුරවාලයි. පුතාගේ පාසැල් වැඩ කටයුතු ද, ඒ අතර සොයා බලන්නට අප දෙදෙනාම අමතක නොකරන්නෙමු. අපගේ නිවස සති අන්තයේ මගේ මවගේ හෝ වෙනත් අමුත්තකුගෙන් පිරී යයි. සුනිල්ගේ මව මියගොස් දැනට වසර පහක් පමණ වෙයි. 

උදෑසන පිබිදී පුතු අප ද අවදි කරවමින් නැඟිට සිටියේ "අම්මේ මං හීනයක් දැක්කා." කියාගෙනය. ඇත්තෙන් ම අප ද එම හඬින් අවදි වුණෙමු. පුතු අස්වසාලූ අප දෙදෙනා සුුපුරුදු පරිදි දවසේ මෙහෙය සඳහා සූදානම් වුණෙමුු. පසුව පුතු සමඟින් වාහනයේ නැඟ, යන අතරමඟ විශාල පිරිසක් කෑකෝ ගසමින් සිටින අතර, එක පොදියට ඔව්හූ යම් දෙයක් වටකර ගෙන සිටියහ. 

සුනිල් කාරය මඳක් නවතා, ඒ අසලට ගොස් ආපසු ආවේ, මුහුණ අඳුරු කරගෙනය. එක්වරම, පුතා ; "ඇයි තාත්තේ ?" යයි ඇසීය. සුනිල් පුතු දෙස මෙන් ම, මා දෙස බැලුවේද අඳුරු කර ගත් මුහුුණින් යුුතුවම ය. "අනේ! අසරණ ළමයෙක් මැරිලා...." යයි සුනිල් පැවසූූ විට ම මහද කම්පා විය. මා ද එක්වරම නැඟිට ඒ දෙසට යාමට සැරසෙන විට ම, පුතු ද මා හා යාමට ඇවිටිලි කළේය. පුතුද තුරුළු කරගත් මා, ඒ අසලට ගිය විට දක්නට ලැබුුණේ, ලේ විලක් මැද වැතිර සිටි මා පුතු තරමේ ම පාසැල් ඇඳුමින් සැරසුණු  පිරිමි ළමයෙකි. "අනේ! පව්...." කුඩා පුතුගේ මුුවින් ඉබේටම කියවිණි. මා පුතුව තව තවත් තුරුළු කර ගතීමී. 

අසල සිටි මිනිසකු මහ හඬින් විලාප තබමින් තම පුතුව යට කරගෙන ගිය වෑන් රථයක හිමි කරුවකුට දොස් තබන්නේය. එම වෑන් රිය තියා අසල කිසිඳු වාහනයක් නැත. "මේ අපරාධය කළ මිනිසුුන් කොහි සැඟවිණි ද? " යි, මා හද තුළ විශාල කෝපයක් මෙන් ම කළකිරීමක් ද ඇති විණි. අහිංසක දරුවකු මරණයට පත් කළ මේ නරුම මිනිසා කොහි සැඟවුණ ද ඔහුට තම හෘද සාක්‍ෂියෙන් නම් සැඟවීමක් නැත. අනේ! අහිංසක පියා තම පුතු ළඟ දැවටෙන හැටි.... ; ඒ සමඟම, මහ හඬින් විලාප දෙන හැටි.... . "දෙවියනේ! මෙවන් අඳුරු ලෝකයක ද අප වාසය කරන්නේ?" යයි මහද විශාල දුකක්, කළකිරීමක් මෙන් ම, අහිංසක ළමයා ගැන වේදනාවක් මෙන් ම, එම පුතුගේ මව තුළ ඇතිවන දුක පිළිබඳ හැඟීමක් ඇති විය. එම මවට මේ වේදනාව උහුලා ගත හැකි වේවිද?. ඉබේටම මා දෙනෙත් සොයා ගියේ මා තුරුළු කරගෙන සිටි පුතු දෙසටය. පුතු ඉතාමත් වේදනාවෙන් කඳුළු සලන සැටි දුටු මා පුතු ද රැගෙන කාරය වෙත පිය නැඟීය.



පාසැල් සමයේදී, මා විසින් ලියන ලද ප්‍රථම කෙටි කථාව මෙසේ පරිඝණකගත කළෙමි. 

සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා


Comments