සූර්‍ය මංගල්ලේ.......


බක් මාසේ අද....
සූූර්‍ය මහ රජ කොයි යන්නේ....
මීන රාශියෙන් මේෂ රාශියට....
අළුත් ගමනකිය අද යන්නේ....

සමන් දෙවිඳු කරුණා කරලා....
අළුත් ඉරක් අද පායාලා....
අළුත් සහල් මංගල්ලෙන්....
සිරිමා බෝ සමිඳුත් පුදලා....

ගස් වැල් පිබිදී නව පණ ලබලා....
මල් ඵල බර වී තුටු වීලා....
අටු කොටු පිරිලා සැම සිත් තුටු වී....
භගවත් මාසය එළඹීලා....

අවුරුදු කුමරුගෙ වසත් කුමරියගෙ....
මංගල වීණා වැයෙන මාසයයි....
අවුරුදු සිරියෙන් මංගල සිරියෙන්....
කෝකිල කූජන නැගෙන මාසයයි....

එරබඳු, බක් මී මල් සැම පිපිලා....
ගස් වැල් සිරියෙන් පිබිදීලා....
සුුවඳ දිදී අද සැම තැන වැටිලා....
ජය මංගල්ලෙට ආවඩලා....

එකම නැකතකට ජාතිය එක්වී....
පන්සල් යන්නේ.. බුදුන් වඳින්නේ....
ලිප ගිණි මොලවා කිරි උතුරාලා....
කිරිබත් පිසලා.. වැඩ අල්ලන්නේ....

ගණු දෙනුු කරලා සැම දෙන තුටු වී.....
අවුරුදු සිරියෙන් පිබිදීලා....
හිස තෙල් ගාලා.... ගත සිත පිබිදී....
අවුරුදු සිරියෙන් සැනසීලා....

නෑගම් යන්නේ සතුට බෙදන්නේ....
සැම සිත් සමඟිව තුටුු වන්නේ...
සතුට ලබන්නයි සතුට පුදන්නයි....
අවුරුදු කුමරුන් මේ එන්නේ....

සූරිය මංගල වසත් සැණකෙළිය....
එක්වී පිබිදෙන අද ගම්මානේ....
සැනසෙමු නැළවෙමු අප සැම සතුටින්...
අමතක කරමින් අමනාපේ....

රන් මැලි මහ සෑ සමිඳු බෙලෙන්....!
ජය ශ්‍රී මහ බෝ සමිඳු බෙලෙන්....!
දළඳා සමිඳුගෙ අනූූහසින්....!
රැක දෙත්වා අප බුදු බලයෙන්....!

නව සිතිවිලිි පිබිදී අවුරුදු ජය වේවා!
සියළු වේදනා දුරුවී ගත සුුවපත් වේවා!
ලැබුු පැරදුම් නොසිතා සිත දිරිමත් වේවා!
අවදානම් දරලා ජයෙන් ජයම වේවා!

කිරි දියරෙන් නැහැවී.. සිත් මල් විකසිත වේවා....!
යස ඉසුරින් නැහැවී.. අගහිඟකම් දුරු වේවා....!
අවුරුදු සිරියෙන් පිිබිදී.. ගත සිත සවිමත් වේවා....!
මිතු සෙනෙහෙන් පතමි.. අවුරුදු ජය වේවා....!




කාව්‍ය සංකල්පනාව
 - ප්‍රියංජලී මංගලිකා

Comments