කෙටි කථාව.....


මගෙ පුතු හපනා....
----------------------



"අම්මේ.... මං විභාගෙ පාස්...." යැයි සතුටින් පුතා කෑගසාගෙන ම ගෙට ගොඩ විය." "ඇත්තද පුතා?.... මගෙ පුතාට කවදාවත් වරදින්නෙ නෑ.... තාත්තත් හිටියා නම් කොච්චර සතුටු වෙයි ද?" යැයි පිළිවදන් දුන් මසිත හඬා වැටෙන්නට සැරසුණ ද, මා එය වළක්වා ගත්තේ ඉතා අසීරුවෙනි. සතුටින් හිඳින පුතුගේ මුව කමල වේදනාවෙන් පුරවාලන්නට මට නුපුළුවන. පුතා ඉපදෙන්නට සිටි දිනවලදී ම පුතුගේ තාත්තා මෙලොව හැරදමා ගියේ සැවොම හඬවමිනි.

ඔහු හා මා විවාහ වීමෙන් පසු ජීවත් වූයේ ඔහුගේ මහ ගෙදරය. නමුත් ඔහුගේ මරණයත් සමඟින් පුතු හා මා මෙලොව තනි විය. ඒවන විට, මගේ දෙමාපියන් ද මෙලොව හැර ගොස්‍ ය. මා හට උදව්වට සිටියේ පොඩි නැන්දා පමණී. ඇය මට කුඩා කල සිට ම මවක් මෙන් මා රැක බලා ගත්තාය. ඇය අවිවාහකව සිටි නිසා, මා කුඩා කල ඇය මා සුරතල් කරමින් අප නිවසේ වාසය කළාය.

සරත් රැකියාව කළ ස්ථානයේ නොකළ වරදකට ඔහුට විඳින්නට සිඳු විණි. සරත් එම ස්ථානයේ ගිණුම්කරුවකු ලෙස සේවය කළ අතර, ඔහු ඉතා අවංකව තම යුතුකම් මැනවින් ඉටු කළේය. කල්‍ යත් ම, ඔහු පිළිබඳ ප්‍රසාදයක් සමාගමේ සෑම දෙනා තුළම ඇති කිරීමට සරත් සමත් විය.  නමුත් මෙයට ඊර්‍ෂ්‍යා කළ පුද්ගලයන් ද මේ අතර විණි. ඔවුනට අවශ්‍යව තිබුණේ ඔහු පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් සෑම දෙනා තුළ ඇති කරලීමය. එම නිසා ඔවුන් නොකළ වරදකට සරත්ව හසු කරන ලදි. විශාල මුදලක් වංචා කිරීමේ වරදකට ඔහුව පොලීසිය භාරයට ගත්තේ, පුතු කුස තුළ පිළිසිඳ ගත් දිනවලදීම ය. එතැන් පටන් පොලීසිය භාරයේ මාසයක පමණ කාලයක් නොයෙකුත් ප්‍රශ්ණ කිරීම් වලට රඳවා ගත්තේය. මා නිතරම ඔහු බැලීමට ගියත් ඔහුගේ අසරණ මුහුණ දකින මට, ඔහුට මේ උගුල් ඇටවූ  මිනිසුන් පිළිබඳ විශාල පිලිකුලක් ඇති විය. "අනේ.....! අසරණ සරත්..." ඊට සතියකට පසුු මට දැනගැනීමට ලැබුණේ ශෝකාත්මක පුවතකි. මා ඔහු බැලීමට යන විට, ඔහු මෙලොව හැර ගොසිනි. මා වෙනුවෙන් වෙහෙසුණු ඔහුව බේරා ගැනීමට මට නොහැකි වීම ගැන, මට විශාල දුකක් ඇති විණි.

"අම්මේ.... ඇයි අම්මා අඬන්නේ....?" යැයි පුතාගේ හඬත් සමඟ ම මම නැවත පියවි ලොවට පිවිසුනෙමි. "නෑ පුතා.. මට පුතාගෙ තාත්තා මතක් වුණා. තාත්තා, පුතාව බලන්න හරි ආසාවෙන් හිටියේ. ඒත් පුතා, අපි දෙන්නගෙම අවාසනාවට තාත්තා අපිව දාලා ගියා." "ඇයි අම්මේ, තාත්තා මැරුණේ..? " යැයි පුතාගේ පැනයෙන් මා නැවත අවදි විය. "පුතාට මං ඒ ගැන කියන්නම්කො පස්සේ. දැන් ගිහින් බත් කන්න." පුතාගේ මුහුණ දකින විට, මට පුදුමාකාර සතුටක් මෙන් ම, දුකක් ද ඇති වෙයි. "සරත් හිටියා නම්...." යයි සිතිණි. "දැන් මොනවා කරන්නද.. පුතා හොඳට ඉගෙන ගන්න ඕන. තාත්තා අපි දිහා කොහේ හරි ඉඳන් බලන් ඇති. තාත්තා සතුටු වෙයි පුතා ගැන. අපි අද ආච්චිත් එක්ක පන්සල් ගිහින් තාත්තට බෝධි පූජාවක් තියමු."
පොඩි නැන්දාගේ උදව්වෙන් මා කුඩා පුතු සමඟ මෙම නිවසට පැමිණියේ, මා හට කිසිඳු පිළිසරණක් නොතිබුණු නිසාය. ඇය විසින් මුදල් විියදම් කර සාදා තිබුණු මෙම නිවස සාමාන්‍ය‍ නිවසක් බඳුය. සරත්ගේ වියෝවෙන් පසු, ඔහුගේ පවුලෙන් මා බලාපොරොත්තු වූ සැලකිළි සත්කාර මට නොලැබිණි. පුතු ඉපදෙන්නට සිටියදී මා එම නිවසේ තනි වූවා වැනි විය. පොඩි නැන්දා නිතර මාගේ සුව දුක් විමසා බැලූ නිසා මා හට අවශ්‍ය රැකවරණය, සැනසීම ලැබිණි. මිනිසුන්ගේ යථා ස්වභාවය මා හට දැනගන්නට ලැබුණේ, මා මෙලොව තනිවීමෙන් පසුවය. අසරණ මා හට පිහිටට සිටියේ පොඩි නැන්දා පමණී. ඇය, මා වෙසෙන මෙම නිවස වෙත රැගෙන විත් අද දක්වාම මා හා වාසය කරන්නීය. ඇයට, මා සලකනු ලබන්නේ මගේ මවට බඳු සෙනෙහසකිනි. ඇය ද මට සෙනෙහස දක්වන්නේ, ඇගේම දියණියකට බඳුය.

"ආච්චි මං විභාගෙන් පාස්...." යැයි පුතුගේ හඬත් සමඟ මම දෙනෙත් හරවා බැලීමි. පොඩි නැන්දා ගෙට ගොඩවෙනවාත් සමඟ ම පුතුගේ කෑගැසීම මා සතුටට පත් කළේය. "ඇත්තද පුතා.... පුතාට තුණුරුවන්ගේ සරණයි....! හොඳට ඉගෙන ගන්න ඕන...." පොඩි නැන්දාගේ පිළිතුරත් සමඟින් මම ඇය දෙස බැලීමි. ඇගේ නෙතින් සතුටු කඳුළු රූරා වැටෙයි. "ඇයි ආච්චි අඬන්නේ....? " යැයි පුතා ඇසීය. "ඒ සතුටු කඳුළු පුතේ.... මයෙ පුතාට කවදාවත් වරදින්නේ නෑ.... ඇත්තමයි...." යැයි පොඩි නැන්දා පිළිතුරු දිණි.  "බත් කන්න නැන්දේ...." යැයි කියූූ මා හට පුතු පාසලට ඇතුල් කළ දිනය සිහිපත් විණි. කුඩා පුතු ඉතා ඕනෑකමින් අකුරු ඉගෙන ගත් අන්දම මට සිතුවමක් මෙන් පෙනෙන්නට විය. දිනෙන් දින ඔහුගේ ඉගෙනීම පිළිබඳ ඇල්ම වැඩි විය. සෑම වාර විභාගයකම පංතියේ පළමු වැනියා බවට පත් වූයේ අපගේ මෙන් ම පාසලේ ගුරුවරුන්ගේ ද හිත සනසමිනි. දැන් පුතා 5 වන වසර විභාගය සමත් ව ඇත. "කෙතරම් අපහසුකම් මැද වුවත් මාගේ පුතා විභාගේ සමත් වෙලා.." යයි කිව නොහැකි තරම් සතුටක් මා තුළ ඇති විය. "මමත් හෙට පුතත් එක්ක එනවා ඉස්කෝලෙට යන්න" යැයි කියා මා පුතුට පැවසුවේ, පුතුගේ පංති භාර ගුරුතුමිය හමු වී ඇයට ස්තූතිය පළකිරීමේ අටියෙනි.
පසු දින උදෑසන, පුතු සමඟ පාසලට ගිය මා හට අසන්නට ලැබුණේ, මගේ පුතා මුළු දිස්ත්‍රික්කයෙන් ම පළමු වැනියා ලෙස සමත් වී ඇති බවය. මම පුතුගේ මුව ආදරයෙන් සිප ගතිමි. ගුරුවරුන් ද, විදුහල්පති තුමා ද පැමිණ පුතාව ආදරයෙන් පිළිගත්හ. පුතාව පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධානය කර ඇති බව ද එහිදී සැලවිණි. පුතාගේ උත්සාහය, පොඩි නැන්දාගේ සහාය හා ගුරුවරුන්ගේ කැපවීම මේ හැම දෙයක් නිසාම මගේ පුතා විභාගයෙන් හොඳින් සමත් වී ඇතැයි මට සිතේ.
(මවිසින් පාසල් සමයේදී ලියන ලද දෙවන කෙටි කථාව මෙසේ පරිඝණක ගත කළෙමි).

සංකල්පනාව
ප්‍රියංජලී මංගලිකා

Comments