අනේ පුතුනේ එන්න හනිකේ, බලන්නට මා පුතු මගේ!
දසමසක් කුස දරන් මා ඔබව බිහි කළේ....
දරුවනේ ඔබ ඇයිද අප මෙහෙම තනි කළේ...
දරු දුකින් වැළපෙනවා සෝ සුසුම් හද පතුළේ....
දරුවන්ව සොයනවා සැමදාම නෙත් මිදුලේ....
දණ ගගා නැඟිටිමින් සිට ගත්තා පුතු එදා වැටි වැටී....
අත දුන්නා හිනැහෙමින් නැගිටින්න මා එදා වැටි වැටී....
බත් අනා කවමින් ම හුරු කළා මා එදා කන හැටී....
ඇයිද පුතුනේ මන්ද අද ඔබට නෑ අම්මා නෑ වටී....
අකුරු කරනට සැමදා පාසලුත් ගෙන ගියා....
බොහෝ දුක් දරා වැඩ කළේ පුතුනේ පියා....
මාත් සමඟින් පුතා රැක ගත්තා පාමින් දයා....
ඇයිද පුතුනේ මෙලෙස තනි කළේ ඔබ පියා....
උණ සැදී ඒ දිනේ පුතු හැඬූ හැටි නිසා බිය වුණේ....
පුතු වඩන් වෙදතුමන් වෙත දුවපු හැටි එදා සිහි වුණේ....
නොහිටින්න පියතුමන් දුවන්නේ කෙලෙසදෝ මා අනේ....
නංගි සිටියේ එදා කුසේ මගේ දඟලමිනේ....
මෙත් ගුණෙන් වැඩුණා මගේ සිත පුතු නිසා මා දුටු එදා....
කුළුණුබර වී වැඩුණා මුදු ගුණ පුතු නිසා ඒ මගෙ සදා....
ඔබෙන් සැළකුම් ලබන්නට මා නැතිද පුතුනේ මල් පුදා....
අනේ පුතුනේ මමත් ඉවසමි උපේඛා ගුණ සිත සදා....
අජාසත් රජු නිරේ වැටුුණා, පියතුමට දුක් දුන් නිසා....
මගේ පුතුනේ ඔබට වෙන්නට එපා දුක් ගිනි අප නිසා....
පෙර අත් භවේ ඔබටත් දුක් දීලදෝ අප සිත් වසා....
මෙසේ ඉවසමි පුතුනේ මතුදා දකින්නට මා පුතු ඇසා....
දැනෙයි ඔබටත් මගේ පුතුනේ මෙසේ ඔබටත් මතු දිනේ!
ඔබේ දරුවොත් නොසලකාලා තනිවුනෝතින් හඬමිනේ!
එපා ඉන්නට වඩා වෛරය පතුරවාපන් මෙත් ගුණේ!
ලැබෙයි ඔබටත් සිතේ සුවයක් නිවා ගන්නට දුක අනේ!
දෙවියනේ අසාලා මගේ ශෝකය, පුතුගෙ සිත සුවපත් කරන්!
දකින්නට මා බලා සිටිනා, අයුුරු අනේ ගොස් දැන් කියන්!
මව පියා සලකන්න වැඳලා, ඒ උතුම් ගුණ සිත දරන්!
අනේ දෙවියනි යන්න හනිකේ, මගේ දරුවන් සොය සොයන්!
කොහේ සිටියත් මගේ පුතුනේ ඇසේවා මේ දුක මගේ!
බලන්නට මා එන්න හනිකේ පිසදන්න කඳුළුත් මගේ!
කඳුළු සැළුවත් මා මෙසේ, පියා නිහඬයි සෑමදා සිටියා වගේ!
අනේ පුතුනේ එන්න හනිකේ, බලන්නට මා පුතු මගේ!
අනේ දරුවනි, තනිකරන්නට එපා ඔබෙ, මව පියා!
දුකින්මයි නෑ සතුටකුත් තනිවේවි සැමදා, මව පියා!
සිහිකරන් මව් ගුණේ පිය ගුණ සැමදා ඔබෙ, සිත දයා!
අනේ ඉන්නට එපා එතකන් ඔබත් වීලා, මව පියා!
කාව්‍ය සංකල්පනාව
- ප්‍රියංජලී මංගලිකා
Comments
Post a Comment