Posts

Showing posts from July, 2016

සයුරේ.......

Image
මසිත විඩා නිවනා.... සැම සඳ මන බඳනා.... සයුරේ...   හෝ හෝ හඬ නඟනා....... සැම සිත් තුටු කරනා.... දසුනකි මන බඳනා.... සයුරේ...   හෝ හෝ හඬ නඟනා....... නිල්වන් සලුවක් සේ දිලෙනා.... සුදුවන් රැළි ඔබෙ.... අප හද  තුටු කරනා.... සයුරේ...   හෝ හෝ හඬ නඟනා....... හිරු බැස යන සැන්දෑ යාමේ.... රන් හිරු රැසින් බබලනා.... ඒ රතු අැපල් ඵලය ඔබ බුදිනා.... සයුරේ...   හෝ හෝ හඬ නඟනා....... මහ සයුරේ රළ ගොඩ ගලනා.... කරදිය දහරින් ගත තෙමුණා.... හමන සුළං පොද සිසිල ගෙනා.... සයුරේ...   හෝ හෝ හඬ නඟනා....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

පියාණනි.......

Image
හිරු සදිසි නිවසේ... දුන් එළිය නිබඳේ... සියලු දුක් සතොසේ... දැරූ හැටි අප සැමට රහසේ....... මහමෙරක් උසයි දරු පෙම සිත පතුලේ... රකින හැටි අපව දී හැම සැප සිත සතොසේ... විඳිමින් සතුට දුක තනිවම හද රහසේ... හැඬුවා හිනැහුණා සැමටම හොර රහසේ....... දණ ගාමින් සිටි මට අත දුන් සැටි මතකයි තාමත් පියාණනි.... ගුරු හරුකම් හැම දුන්නා නිබඳව මතකයි තාමත් පියාණනි.... මහලුව බැරි උනදා මා ඔබ රැකගමි සතුටින් අාදර පියාණනි.... පතනෙමි සැමදා නිරෝගි සම්පත අාදරබර මගෙ පියාණනි.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා

දිරිය මිනිසුනේ.......

Image
මිනිසුන් අතරේ ඉපදී... සියලු දුක් විඳ දරා..... සතුටින් දිවි ගෙවනා... දිරිය මිනිසුනේ..... දෑත් දෙපා හිමි මිනිසුන් සේම සිතා... දිරි වඩනා මිනිසුනේ..... ඔබ අපට මහඟු අාදර්ශයකි... දෑත් දෙපා හිමි මිනිසුනට වඩා..... ඔබ සිත සතුටින් පිරී... සියලු වේදනා සුවපත් වී..... පතන්නම් ඔබට මෙවන් විපතක්... නොම වේවා මතු අත්භවයේ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

ජයග්‍රහණය.......

Image
ගසක් සරු ලෙස වැඩීමට... පොහොර යොදන්නා සේ..... ජයග්‍රහණය උදෙසා... පරාජයන් උපයෝගී කර ගත යුතුය අප..... පරාජයන් අභිමුවෙහි නොසැලෙමින්... ජයග්‍රහණය ලැබීමට නම්..... අවදානම් දරමින්... සාර්ථකත්වය ලබා ගත යුතුය අප..... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

ආදරය.......

Image
දුටිමි ඔහු පළමු දින.... අතරමං විණි අප දෙදෙන.... කොහේදෝ ලෝකයක....... මින් පෙර අප හමුවූ සෙයක් දැණින....... දින ගෙවී යත්ම.... මහද ඔහුට ප්‍රේම කරන්නට විය....... අප දෙනෙත් යා වුන ද.... වදනින් අප තනිවේ....... නමුත් මම ඔහුට පෙම් කරමි.... ඔහුගේ සෙනෙහස ද මට දැනේ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

Desert Flower......

Image
කාන්තාරයේ කුසුම...... ලොවක් නැළවූ ලොවක් සැනසූ... වියළි කතරේ දිය බිඳ ඇයයි..... සියලු දුක් පවනට පා කෙරූ... වියළි කතරේ කුසුම ඇයයි..... දිරිය ලියකි ඔබ... මේ දියතේ පහළ වූ....... සැබෑ කුසුමකි ඔබ... ඔබෙ සුවඳ දසත ම විහිද වූ....... වීරවරියයි ඔබ... සියලු දන හදට....... ඔබෙන් ලද දිරිය අපමණය... සැබැවින් ම අප හදට....... කාන්තාරයේ නොව... මෙදියතේ ම කුසුමයි ඔබ....... නිබඳ ඔබෙ සුවඳ විහිදුවන්නට... පතන්නම් දීඝායූ....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

වැසි දෙවිඳුනේ....

Image
අහිංසක මිනිස් ජීවිත බිලි නොගෙන.. දැන්වත් නවතනු මැනව ඔබගේ අඳෝනාව.... විපතටපත් මිනිසුන් උදෙසාවත් පිහිටවුව මැන.... හිරු දෙවිඳුන් හා මිතුරුව සනසාපන් මේ උතුම් සිරිලක.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා  (මැයි මස පැවති වැසි සමය පදනම් කර ගෙන මෙම නිර්මාණය කරන ලදි).

මිලින කුසුම්.....

Image
විකසිත විණි තඹරු මලක් මෙන්... ඒ ළඳරු කුමරිය.... විකසිත වත්ම ඒ සියුම් මල් පෙති, තලා වනසන්නට තරම් සැහැසි වූවෝ කවුරුන්ද? මිනිස් භවයේ උපත ලද්දන්ම නොවේද? මාපිය හදේ දැවෙනා ලසෝ ගිනි..... කාට නම් නොපෙනේද? මිනිස් වෙසින් දිවි ගෙවන්නාවූ මෙවන් මිනිසුන්ගෙන්, රැකගත යුතුය ඒ තඹරු මල්..... නැතහොත් කෙසේ විකසිත වන්න ද, ඒ සියුම් මල් පෙති.......... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

හිරු දෙවිඳේ.....

Image
පායා එන්න.. පායා එන්න.. මේ දුක් අහසට.... විකසිත කරන්න.. විකසිත කරන්න..  මගේ මේ මිහිකත.... සියලු දන හද සනසා.. පායා එන්න.. පායා එන්න.. විගසින්ම.. විගසින්ම.. පුබුදු කරනු මැන.. පුබුදු කරනු මැන.. මගේ ලක් මාතාව.. ඔබේ උණුසුම් රැස් දහරින්...... රැක ගනු මැනව.. රැක ගනු මැනව.. මගේ ලක් මාතාව.. පෙර රැකූ ලෙසටත් වඩා.. මහත් අදරින්.. මහත් අදරින්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා   (මැයි මස පැවති වැසි සමය පදනම් කර ගෙන මෙම නිර්මාණය කරන ලදි).

බුදු පියාණනේ.......

Image
වාසනාවන්ත වීමි මම උපත ලබනට මේ උතුම් පින් බිමේ... නිසල බුදු රුව දෙස බලා සසල සිත නිවා ගන්නට තරම්... අප පින් කර අැත... බුදු පියාණනේ..... හිමි දෙසූ දම් සුවඳ මිහිමඩල පුබුදුවාලයි... සත්‍යයේ දම් මිහිර සිත් දුකින් මුදාලයි... බුදු පියාණනේ..... මා මිතුරු මිතුරියන් සැමටම සිත් සැනසෙන පින්බර වෙසක් මංගල‍්‍යයක් වේවා! කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

සිතිවිලි අතරේ....

Image
නිබඳ කිමිදෙමි ; සිතිවිලි සයුරේ .... සැඩ රැල්ලට හසුව වැනසෙන මගේ අහිංසක සිතිවිලි සිහින් පෙණ පිඩුවක් වැන්න . ගතට යා නොහැකි දුර සිතින් මා රැගෙන යයි . සිතිවිල්ලක විරාමය ..... සයුරේ මා තනි කරලයි . යළි කෙසේ කිමිදෙම්ද ? මා ; සැලෙන රළ පෙළ හමුවේ ..... වෙර ගතිමි රැක ගන්නට පණ නල ; සිතිවිලි සයුරෙන් මිඳී .... සිතිවිල්ලක දෝංකාරය යළි හදට ලං වෙයි .... සුපුරුදු හදේ නැමියාව ඒ කරා පියනගයි .......... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

කැලණි ගං කොමළියේ.....

Image
බුදු පහස ලැබූ බුදු සිරිපතුළින් හැඩ වුනු.. කැලණි ගං කොමළියේ.... සංසුන් කරගනු මැනව ඔබගේ ගමන් ලතාව.. උතුම් බුදු සමිඳුගේ නාමයෙන්වත්.... මේ උතුම් වෙසඟේ.... සැම සිත් දුකින් මුඳවනු මැනව... සන්සුන්කමින් යුතුව.. සිල් ගත් සිතින් යුතුවු කත සේ........ කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

ශුභවාදී අැස....

Image
මිනිසා ගෙන යාවි කඳුලු නිම්නය වෙත... මක් නිසාද යත්.... නිබඳවම සිත වැලපී අැත අසතුටින්.... අන්ධකාරය ඔහු වෙලා ගත් සඳ; ඔහු කෙසේ ඉන් මිදෙන්නද? ඔහුට නොපෙනෙන අාලෝකයට මැසිවිලි නඟනු අැත එවිට.... එහි අරුත ඔහු නොදත්තද එසේ කිරීමෙන් හදට සැනසුම් සුසුම් ගෙන දෙන්නට අැත.... නමුත් එය සිහින් නිමේෂයකට පමණී... නැවත ඔහු වෙත කඳුලක සෙවණැලි ගලා එන්නට අැත.... අැයි මසිතට මෙසේ දුක උරුම වූයේ... ඔහුට සිතෙන්නට අැත. එවිට ඔහු පමාවී හමාරය; ශුභවාදීව දකින්නට තරම්වත්... ඔහුට හිමි ශුභවාදී දෙනෙතින්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

සබඳේ.....

Image
මසිත විඩාව නිවමින මා සොඳුරු විමනකට ගෙන යන.... මා ප‍්‍රිය සබඳේ..... මහද දුක නිවාලමින මා සිත සතුටින් තබන මා ප‍්‍රිය සබඳේ..... විටෙක ඔබ මට ගුරුවරයෙකි; මා දැනුම් පිපාසය නිවාලන.... තව විටෙක ඔබ මට මවකි; මසිත සෙනෙහසින් සතපන.... පියෙකි ඔබ මට නිබඳ; මසිත සවිමත් කරන.... සොඳුරු මං සොයා යන ඔබ; මා එහි තනි කරලයි.... විටෙක ඔබ මා අතීතයේ සඟවාලයි.... සැබෑ මිතුරෙකි ඔබ මට නිබඳ.... පෙම් කරමි සබඳ ඔබට මම ඔබගේ මිත්‍රත්වයේ නාමයෙන්...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

දුප්පත්කම......

Image
මුදල අවැසිය මිනිසුනට... සැබැවින් ම...... එනමුදු මිනිස්කම... ඒ මුදල තරමටම අගනේය...... මුදල් හිඟ පමණින් ම මිනිසා... දුප්පතකු වන්නේ නැත...... අැතැම් විට ඔහු නිරෝගී මිනිසකුය... ඔහුට දිනිය හැකිය ජීවිතය...... කෙනෙකු දුප්පත් වූ පමණින් ම ඔහු... අන්ත අසරණයෙකු ද නොවේ...... ඔහු සතුටින් දිවි ගෙවනවා විය නොහැකිද?... සැබෑ ධනවතා අසතුටින් දිවි ගෙවනවා විය නොහැකිද?...... මිනිසුනේ... දිරි වඩව්... අපට හිමිි දෑතින් ජය ලබන්නට...... රට නඟන්නට... දුප්පත්කම හමුවේ...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

බලාපොරොත්තුව....

Image
සැබැවින්ම... අරමුණක් අවැසිය දිවියට.... නැතහොත්... දිවිය ගලා යයි නොදැනීම.... නමුදු අපේක්‍ෂාව... නව පණක් ලැබදේවි.... ඒ ජීවිතයට... සාර්ථක වූ ජීවිතයක් උදෙසා.... අහස් මාළිගා තැනිය යුතුය අප... නොපෙනෙනා අනාගතකට.... නමුදු උපේක්‍ෂාව අවැසිය... ජය පරාජය අභිමුවේ... නොසැලී සිටීමට නම්.... බලාපොරොත්තුව... අප ඔබට සදා ණයගැතිය.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

නැඟණියනි........

Image
සුපිපෙනා පියුමකි නුඹ සැමගෙ සිත් සනසනා.... දැයේ ජීවය නුඹයි සැමගෙ දුක් දුරලනා.... පාසල් ගොසින් නුඹ ඉගෙන ගෙන මතු දිනෙක මව්පියන්ගේ පැතුම් ඉටු කරන්නට නැඟණියේ වාසනා.... ලොවෙන් ලැබුණුු දේ නැවත පෙරළා දිය යුතුය නුඹ.... සිනාමුසු මුවකමල රැකගන්න සැමදාම.... හිරි ඔතප් බිඳ නොගෙන දැයේ මිණි කිරුල වී සැමගෙ සිත් සනසන්න නැඟණියේ වාසනා..... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

මල්ලියේ.......

කෝපි මල් හිනැහෙනා හිමිදිරි පාන්දර ඉරුණු කමිසය අැඳන් පොත් මිටිය තුරුලු කර අකුරු කරනට දුවන මල්ලියේ.... පා නුඹේ රිදෙන මුත් සිතට නොගනින් එයද අකුරු කර ජය ගන්න මල්ලියේ වාසනා.... පාසල් ගොසින් නුඹ ඉගෙන ගෙන මතු දාක අක්කගේ පැතුම් හැම ඉටු කරන්නට නුඹට හැකි වේවි මලනුවනි.... දිරි ගනින් නුඹෙ සිතට.... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

උත්සාහය......

Image
දිරි වඩව්... දිරි වඩව්... සාර්ථක දිවියකට...... දරුවනේ සිතාපන්... මව්පියන්ගේ සුසුම්...... සිතට ගෙන... මතු දිනෙක ජය ගන්න...... සිප් සතර ලැබගන්න... උත්සාහ දරාපන්...... අලසකම් දුරලමින්... ඉගෙනීම ජය ගන්න...... දිරි වඩව්... දිරි වඩව්... සාර්ථක දිවියකට...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

ගොවි රජාණෙනි......

Image
සැමට බත දෙවන නුඹ සැමට පෙර පිබිදිලා... කහට උගුරින් සෑහී; කුඹුර වෙත පිය නඟයි.... අරුණලු සමඟින් ම පා නඟන ඔබේ සිරුර... සිසිල් මඳ නලින් පණ ලබයි. දිරි ලබයි.... අව් වැසි නොබලා වෙහෙසෙමින් තම ‍ශ්‍රමය යොදවමින්... රට සරුසාර කරන ගොවි රජ ඔබ සැබෑ රජෙකි.... සැම දිනම වෙහෙසිලා; මෙබිම සරුසාර කරන... ගොවි රජාණෙනි ඔබට පතන්නම් දීඝායු... සිතාපන් මිනිසුනේ.... ඔබ බුදින බත් අැටයක් පුරා පැතිර අැති ඔහුගේ ශ්‍රමය.... තක්සේරු කළ හැකිද ඔබට? කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

උදෑසන.......

Image
විශ්වයම අවදි වූවා වැනිය.... ලහිරු කිරණින් විකසිත වන මෙදියත සෑම දිනයක්ම  අැරඹෙයි උදා සිරියත් සමඟින් ම...... කෝපි මල් හිනැහෙමින් ළමා කැළ දෙස බලයි.... සියොත් කැළ ගී ගයා මුලු ලොවම පුබුදවයි...... කුකුලා ද අවදි වී මුලු ලොවම පුබුදවයි.... විශ්වයම පිබිදිලා තම මෙහෙය වෙත දුවයි...... පිණි බිංදු වැටීලා තණ පළස දිදුලවයි.... හිරු කුමරු අැවිල්ලා මුලු ලොවම පුබුදවයි...... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා 

මාතෘත්වයේ නාමයෙන්.......

Image
දස මසක් කුස දරා සියලු දුක් සිත දරා මිහිකත සේ උසුලමින් අප මෙලොව ජනිත කළ මෑණියනි..... හැඳින ගතිමි කිමක් දැයි මාතෘ ස්නේහය.... මවක් වෙසින් අප වෙත විත් කඳුල සිනහවක් බවට පත් කරන්නාවූ ඒ උත්තරීතර මාතෘත්වයට; කෙසේ ණය ගෙවන්නදැයි නොදනිමි..... නමුදු ඔබ අප වෙනුවෙන් විඳි දුක් කම්කටොලු හදේ රැඳෙනා වාරයක් පාසා ඔබ වෙනුවෙන් උපන් පහන් සිතිවිලි සමුදාය පොදි බැඳගෙන පණ පොවමි; ඒ නිසංසල සිතිවිලිවලට...... මාතෘත්වය වෙනුවෙන් උපහාර පුදන්නට... මාතෘත්වයේ නාමයෙන්....... කාව්‍ය සංකල්පනාව  - ප්‍රියංජලී මංගලිකා